Select Page

දළ විශ්ලේෂණය

දැක්ම

සුවය හා රැකවරණය සැමට

මෙහෙවර

සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම උදෙසා බටහිර හා දේශීය ප්‍රතිකාර සේවා සමගින්, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සේවාව තුලින් ඌවේ ජනතාවගේ කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සහ සවිබල ගැන්වූ කාන්තා ප්‍රජාවක් බිහි කිරීම

හැඳින්වීම

“සුවය හා රැකවරණය සැමට” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා ‍බටහිර වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන්ද, ළමා හා කාන්තා රැකවරණය, සමාජ සුබසාධනයහා වනිතා සංවර්ධනය උදෙසාද ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය කැපවී කටයුතු කරනු ලැබේ.

අරමුණු

  • බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම තුලින් නිරෝගී සම්පන්න ප්‍රජාවක් බිහි කිරීම.
  • සතුට, සුවය, ආරක්ෂාව සපිරි දරු පරපුරක් බිහි කිරීම උදෙසා අවශ්‍ය සේවා සැපයීම තුලින් ඔවුන් ඌව පළාතේ සංවර්ධනයට දායක කර ගැනීම.
  • සමාජ සුභ සාධන හා සමාජ සංවර්ධන කටයුතු පුළුල් කිරීම තුලින් පළාතේ ජීවත් වන සමාජයේ අවාසි සහගත තත්වයන්හි සිටින අයට හිතකාමි පරිසරයක් උදාකර දීම.
  • කාන්තා සවිබල ගැන්වීම් තුලින් ආර්ථික හා සමාජ මට්ටම් ඉහළ නැංවීම.

ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අමාත්‍යාංශය හා ඒ යටතේ පළාත් දෙපාර්තමේන්තු හතරක් ක්‍රියාත්මක වන අතර ඒ පහත පරිදි වේ.

  • ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
  • ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
  • ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
  • ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව

 

අමාත්‍යාංශයට පැවරී ඇති විෂයයන් අතුරින් වනිතා සංවර්ධන විෂයය සෘජුවම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර අනෙකුත් විෂයයන් පළාත් දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවාව

බදුල්ල පළාත් මහ රෝහල සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල හැර පළාතේ පිහිටි මූලික රෝහල් 06ක්ද, ප්‍රාදේශීය රෝහල් 40ක්ද, ප්‍රාදේශීය වතු රෝහල් 18ක්ද, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 26ක්ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 27ක්ද ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. ඊට අමතරව වාහක රෝග පාලන ඒකක, ලිංගාශ්‍රිත රෝග සායන ඒකක, ක්ෂය රෝග සායන ඒකක දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රධාන නගර දෙකෙහිද මානසික සෞඛ්‍ය සම්පත් මධ්‍යස්ථානයක්, බෝ නොවන රෝග පාලන ඒකකයක් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේද ක්‍රියාත්මක කෙරෙන අතර පළාත් තුළ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් 5,400ක පමණ කාර්ය මණ්ඩලයක් ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ සේවා සපයනු ලැබේ.

 

සමාජ සුබසාධන සේවා

ඌව පළාත තුළ සිටින අඩු ආදායම්ලාභි පුද්ගලයන් සහ එම පවුල්වල දරුවන් සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් නඟා සිටුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ පුද්ගලයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම, අවාසි සහගත තත්වයට පත්ව සිටින කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම, ආබාධ සහිත තැනැත්තන් උපකාර කිරීම සඳහා ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මහජනාධාර ගෙවීම, වකුගඩු රෝගාධාර ගෙවීම, ක්ෂය රෝගාධාර ගෙවීම, ආබාධිත පුද්ගලයින් සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම, අධ්‍යාපානාධාර ලබා දීම ආදී සමාජ සුබසාධන වැඩසටහන් මෙන්ම විවිධ ආධ්‍යත්මික සංවර්ධන වැඩසටහන්ද මේ යටතේ සිදු කෙරේ. පළාතේ වැඩිහිටි පුද්ගලයින්, විශේෂ අවශ්‍යතා සහිත ළමුන්, වෙනුවෙන් ක්‍රියාත්මක ස්වේච්ඡා ආයතන 09ක් දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

ආයුර්වේද සේවාාව

දියතලාව නගරයේ පිහිටුවා ඇති ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ දියතලාව නගරයේම පිහිටි පළාත් ආයුර්වේද මහ රෝහල ආයුර්වේද ප්‍රතිකාර සේවා සපයනු ලැබේ. එමෙන්ම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් 02ක්ද, ග්‍රාමීය ආයුර්වේද රෝහල් 05ක්ද, මධ්‍යම බෙහෙත් ශාලා 23ක්ද, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඖෂධ උද්‍යානයක්ද, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයක්ද පළාතේ ජනතාවගේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා අවශය සේවා සපයනු ලබයි. මේ සඳහා පළාත් තුළ විසිරි ඇති කාර්ය මණ්ඩලය 500ක්පමණ වේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා

ඌව පළාතේ සිටින ළමුන්ගේ රැකවරණය උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වන ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ළමුන්ගේ භාරය හා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක අණපනත් මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව හා අධිකරණ නියෝග ප්‍රකාරව සිය සේවා සපයනු ලබයි. දෙපාර්තමේන්තුව මගින් ළමා නිවාස 08ක් පවත්වා ගෙන යනු ලබන අතර රජයේ ලියාපදිංචි ස්වේච්ඡා ළමා නිවාස 09ක්ද පළාත තුළ ක්‍රියාත්මක වේ. එමෙන්ම පළාතේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය හා අධීක්ෂණයද දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

 

වනිතා සංවර්ධනය

කාන්තා කටයුතු විෂයය පළාත් සභාව වෙත බලතල පැවරී ඇති විෂයයක් නොවුනත් පළාතේ කාන්තාවන්ගේ ජීවන තත්වය නංවාලීම උදෙසා විවිධ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යාංශය විසින් සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවා සපයනු ලබන වනිතා සංවර්ධන නිලධාරිනියන්, සහන සොයුරියන්ගේ සහායද ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලවල සහායද ලබා ගැනේ.