Select Page

ඉතිහාසය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් හා 1987 අංක 47 දරණ පළාත් සභා පනත අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාව පළාත් 09කට බෙදා පළාත් සභා පාලන ක්‍රමයක් ඇති කරන ලදි. ඒ අනුව බදුල්ල හා මොණරාගල පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත් වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26කින් සමන්විත වන පරිදි ඌව පළාත් මායිම් වී ඇත. ඌව පළාතේ බහුතර ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකට ක්‍රියා කරන අතර විවිධ ජන කොට්ඨාශයන්, විවිධ සංස්කෘතීන් සහජීවනයෙන් යුතුව ඌව පළාත තුළ ජීවත් වේ. ඌව පළාත ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අතර ස්වාභාව සෞන්දර්යයෙන් ද අනූන පළාතක් වශයෙන් විචාරකයින් හඳුන්වා දී ඇත.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා සඳහා විවිධ විෂයයන් වෙනුවෙන් බලතල පවරන ලදි. එසේ පවරන ලද බලතල අනුව සමගාමී ලැයිස්තුවෙන් සෞඛ්‍ය විෂයය සමගාමී විෂයයක් ලෙස පළාත් සභා වලට පැවරී ඇත.

1988 පැවති ප්‍රථම පළාත් සභා මැතිවරණයේදී ඌව පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය ධූරය පර්සි සමරවීර මැතිතුමා විසින් ලබා ගත් අතර ඔහුගේ ධූර කාලය 1988.09.16 සිට 1993.03.16 දක්වා විය. එම කාලයේ සෞඛ්‍ය විෂයය ගරු ප්‍රධාන අමාත්‍යතුමා යටතට පත්විය. ඒ අනුව එම අමාත්‍යාංශය 1988.09.16 සිට 1993.03.16 දක්වා කාලය තුළ පරිපාලන, නීතිය හා සාමය සැලසුම් සීමා කිරීම්, මුදල්, අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළඳ කර්මාන්ත, බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ලෙස නම් කර තිබුණි.

1988 පිහිට වු මුල්ම පළාත් සභා ක්‍රමයේ නිල කාලය අවසන් වීමෙන් පසු 1993 වර්ෂයේ 2 වන පළාත් සභා මැතිවරණය පවත්වන ලදි. දෙවන පළාත් සභා නිල කාලය තුලද ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හිමිවුයේ පර්සි සමරවීර මැතිතුමාටය. දෙවන පළාත් සභාවේ එතුමන්ගේ නිල කාලය වුයේ 1993.05.27 සිට 1998.06.06 දක්වා කාල සීමාවයි. එම කාල සීමාව තුළ ඌවේ ගරු ප්‍රධාන අමාත්‍යතුමා වෙත නීතිය හා සාමය, මුල්‍ය, ප්‍රාදේශීය පාලනය, පළාත් පාලනය, අධ්‍යාපන, සෞඛ්‍ය, මාර්ග, ක්‍රම සම්පාදන හා ඉංජිනේරු සේවා අංශය හිමි විය.

තුන්වන පළාත් සභාව 1999 දී පිහිට වු අතර එහි ප්‍රධාන අමාත්‍ය ධූරය හෙබවුයේ සමරවීර වීරවන්නි මැතිතුමා විසිනි. එතුමන්ගේ අමාත්‍යාංශය වුයේ මුදල්, නීතිය හා සාමය, පළාත් පාලන, මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, තරුණ කටයුතු, ක්‍රීඩා, සමාජ සේවා හා සමුපකාර හා සැලසුම් කටයුතු අමාත්‍යාංශයයි. තුන්වන පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හෙබවු ගරු සමරවීර වීරවන්නි මැතිතුමාගේ නිල කාලය අවසන් වීමට පෙර ඇති වු දේශපාලන වෙනස්වීම මත 2001.10.26 දින සිට 2004.04.25 දක්වා කාලය තුළදී ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය හිමිවුයේ ඒ.එම්.බුද්ධදාස මැතිතුමාටය. එතුමන්ට වුයේ නීතිය හා සාමය, මුදල්, පළාත් පාලන, ප්‍රාදේශීය පාලන, මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා, යටිතල පහසුකම්, සංචාරක හා සැලසුම් අමාත්‍යාංශයයි.

හතරවන පළාත් සභා පිහිටුවීමේදී ඌව පළාත් සභාවේ කැපී පෙනෙන ලක්ෂණයක් දක්නට විය. එනම් ශ්‍රී ලංකාවේ සියඑම පළාත් සභා අතරින් සෞඛ්‍ය අමාත්‍යාංශය හිමි අමාත්‍යවරයා වශයෙන් වෛද්‍යවරයෙකු පත්වීමයි. හතරවන පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක යන විෂයන් ගරු අමාත්‍ය දොස්තර රෝහණ පුෂ්පකුමාර මැතිතුමාට හිමි විය.

පස්වන පළාත් සභා කාලය වූ 2009.08.20 සිට 2014 දක්වා ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අංමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය ඒ.එම් බුද්ධදාස මැතිතුමාත් දරන ලදි.

2014 වර්ෂයේ 6 වන පළාත් සභාව පිහිටුවිමේදි 2014.10.16 දින සිට යළිත් ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාට හිමු වු අතර සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අංමාත්‍යාංශය ආර් .එම්.කුමාරසිරි රත්නායක මැතිතුමාට හිමිව තිබුනි.

හයවන පළාත් සභා නිල කාලය තුළ 2015.01.22 දින සිට ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ගරු ජේ.එම්. ආනන්ද කුමාරසිරි මැතිතුමා පත් විය. නැවතත් 2015.10.22 දින සිට ගරු ආර්.එම්. කුමාරසිරි රත්නායක මැතිතුමා ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර එතුමා 2017.08.09 දින දක්වා අමාත්‍ය ධුරයෙහි කටයුතු කරන ලදී.

හයවන පළාත් සභා කාලය තුල 2017.08.10 දින සිට ගරු අනුර රවීන්ද්‍ර විදානගමගේ මැතිතුමා ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවරුම් දුන් අතර හයවන පළාත් සභා නිල කාලය අවසන් වූ 2019.10.08 වන දින තෙක් එතුමා එම අමාත්‍ය ධුරයෙහි කටයුතු කරන ලදී.

පළාත් සභා මැතිවරණයකින් නව පළාත් සභාවක් පත් වන තෙක් 2019.10.09 වන දින සිට පළාත් සභා පනතේ බලතල ප්‍රකාරව මෙම අමාත්‍යාංශයේ කටයතු ගරු ඌව පළාත් ආණ්ඩුකාරතුමා යටතට පත්ව ඇත.